රමණීය දිගාමඩුලු පුරවරයේ තුරු වියනින් සැදුම්ලත් මාවතක නිදහසේ ගමන් කිරීම සැබවින්ම මනසට සුවය දනවන්නකි. සරුසාර කෙත් බිම් පිසගෙන හමන සිසිල් පවන් නිසා මෙම ප්‍රදේශයට ස්වභාවයෙන්ම හිමි වී ඇති ඌෂ්ණාධික බව මැකී ගොස් වචනයෙන් දැනවිය නොහැකි සනීපයකින් ගත සිත පිනා යයි.
ඒකාකාරි වෙහෙසකර ජීවන රටාවෙන් මදක් ඔබ්බට පියමං කරනු වස් නිවාඩු දිනයන්හි මගේ සැමියා සමඟ මෙම මනහර පුරවරයේ සංචාරය කිරීම විනෝදාංශය කර ගතිමි. දිවයින වෙනත් ප්‍රදේශ මෙන් ජනාකීර්ණ බවින් තොර වූ ද, එක යායට නිල්ල ගැසූ අපරිමිත තැනි බිමි වලින් අලංකෘත වූ ද, නිස්කලංක හා නිදහස් හැඟීමෙන් පිරුණා වූද, නිමක් නොමැති සරුසාර මහා කෙත් බිමින් ගැවසියා වූද, හිටි අඩියේ නෙත ගැටෙන වල් අලින් වැනි වන සතුන් හේතුවෙන් ත්‍රාසජනක හැඟීමෙන් වූ අඩුපාඩුව මැකී යන්නා වූද මෙම මනරම් පුරවරය තුළ එම චාරිකා පෙළ අප ඇරඹුවේ, ඉතාමත්ම විරල ලෙස මිනිස් නෙත ගැටුණු, නිදන් මංකොල්ලය පිණිස මිස වෙනත් අරමුණක් වෙනුවෙන් මිනිස් පිය සටහන් නොතැබුණු අපූරු වන පෙතකිනි.
අම්පාර පුරවරයට මදක් ඔබ්බට වන්නට, එනම් අම්පාර මහනුවර ප්‍රධාන මාර්ගයේ ගොනාගොල්ල ප්‍රදේශය පසුකොට මුණගැසෙන මංසන්ධියෙන් මදක් දුර ගෙවා ගොස් රජගල පෙදෙසට පිළිපන් අපි, ඉතිහාසයේ සැඟවුණු තතු සොයා ගනු වස් පා ගමනින් සංචාරය ඇරඹුවෙමු. අක්කර කිහිපයක භුමි භාගයකින් සමන්විත මෙම ප්‍රදේශය දිනකින් හෝ දෙකකින් තරණය කළ හැක්කක් නොවන බව පෙනී ගියේ එළිමහන් බිමක ඇති රථ ගාල අසල වනාන්තරයට පිවිසෙන ද්විත්ව පිවිසුම දුටු විට ය.
ඉන් එක් පිවිසුමක් පසු කොට මද දුරක් යන්නට මත්තෙන් පුරාතනයන්ගේ පිය සටහනින් මැදී ඔප වැටී ඇති ශෛලමය පියගැටපෙළක් හමු විය. මගපෙන්වන්නකු හෝ මංසලකුණු පිළිබඳ හෝඩුවාවක් හෝ නොවූ අපට ඉදිරි මග සොයා ගැනීමට අපහසු නොවූයේ මෙම සෙල්මුවා පියගැටපෙළෙහි නටබුන්, ගමන අවසානය දක්වා ම අපට මග පෙන්වූ හෙයිනි.
මග ගෙවෙත්ම වනාන්තරය අඳුරු බවින් දැඩි වන්නට විය. උෂ්ණය පහවී සිහිතල දැනෙන්නට විය. අතු පතරින් සැදුම්ලත් තුරු වියනද ඝන කමින් වැඩි වන්නට විය. වන සතුන්ගේ ශබ්දයද අවමව ගොස් නිහඩ බව හිස ඔසවන්නට විය.. ළපටි තුරුලතා වෙනුවට දැවැන්ත වෘක්ෂයන් මුණ ගැසෙන්නට විය... කියා ගත නොහැකි අමුතු අද්භූත බවකින් අප අවට වෙළී යන්නාක් මෙන් දැනන්නට විය... හිටි ගමන් අප එකිනෙකාගේ මුහුණු බලන්නෙමු.. ඉදිරියෙන් යන්නා නිතර පසුපස බලන්නේය.. එහෙත් වදනක් දෙඩීමට නොවේ.. අනෙකා කොහි දැයි බැලීමට ය..
සැබවින්ම මෙය අතිශයෝක්තියක් නොවේ...එම හැඟීම කිමෙක්දැයි අදටත් මම නොදනිමි.. එය විඳීමට ඔබද එහි යා යුතු මය... අතීතයේ අප මුතුන් මිත්තන්ගේ ආත්මයන් මෙම රාජකීය ඝන වනන්තරයේ රැඳී සිටිතැයි ද, ඔවුන් අප දෙස නෙත නොමරා බලා සිටින්නේ යැයි ද, අපගේ කල්ක්‍රියාවන් කෙරේ විමසීමෙන් සිටින්නේ යැයි ද මා හට හැඟී ගියේ ය. එමතුදු නොව ප්‍රතාපවත් සූර්ය රශ්මී කදම්බයන් පවා අකම්පිත කෙරෙමින් මෙම පුරාතන උදාර වන භූමිය ආවරණය කළ දැවැන්ත වනස්පතීහු ද, ප්‍රාණයක් නොමැත්තේ යැයි අප විසින් අනුමාන කරන ලද උස්ව නැගුණු මහා ගල් කුළු ද තරඟයට මෙන් අප දෙස නෙත් හෙළා සිටිනුයේ ඔවුන්ගේ මෙම ක්ෂේම භූමියට අපගෙන් යම් අවැඩක් සිදු වේ දැයි නිරික්සීමට යැයි ද, එසේ සිදු වන බව ඔවුන්ට හැඟී ගියහොත් අතුපතර නැවී විත් ගෙල සිර කර නොඑසේ නම් ගලක් ගැලවී පෙරළී විත් මා ගේ අවසන් හුස්ම ගනිතැයි ද මට සිතුණු වාර අනන්ත ය...මේ පතාක වනස්පතීන්හි සැබවින්ම වාසය කරන රුක් දෙවිවරුද ඒ විමැසිල්ලෙන්‍ම අපව අධ්‍යයනය කරන්නෝ යැයි ද මට නැවතත් පසක් විය...
“එහෙයින් රුක් දෙවිඳුනි, පුරාණ මුත්තණුවනි, වෘක්ෂෝත්තමයාණෙනි... ගිරිකුළට අධිපතිඳුනි, මේ වනය තුළ ඇවිදින විට පය තැබීමටත්, පය පැකිළුණු විට නැගී සිටීමටත්, විඩාපත් විට ඉසිඹු ලෑමටත් පමණක් මට අවසර දෙන සේක්වා... ඉන් ඔබ්බට වන් කිසිවකට මා නොඑළඹෙන බව ඔබතුමන්ලාට ශපථ වන්නෙමි...”
එහෙත්... බුදුන් වහන්සේ වදාළ පරිදි ගසක් යනු... තමන් විනාශ කරන පුද්ගලයාටද සෙවණ සදන බෝසත් උත්තමයෙකැයි සිහි නැඟුණෙන් මාගේ ශපථය නැවත වරක් මටම ශපථ කර ගනිමින් නැවතත් ගමන් ඇරඹුවෙමි.
කිසිදු හැල හොල්මනක් නොමැති වන ගැබ සැබවින්ම අද්භූත ජනකය. අඳුරු ගල් ගුහා, නිහඩවම ලැගුම්ගත් කිසියම් වන මෘගයකු ගේ නිවස්නය යැයි හැඟී ගියද, ඉඳහිට මතුවී අතුරුදන් වන කටුස්සකු, සිකනලකු හැරෙන්නට වෙනත් දරුණු සතකු මුණ නොගැසීම තනිවම මෙහි පිවිසි අප දෙදෙනාගේ වාසනාවක් විය හැක. අප පිය නගන විට වියළි කොළ හා කෝටු කැබලි බිදෙන හඩ හැරෙන්නට හඩක් වේ නම් ඒ ඉඳහිට කෑ ගසන පක්ෂියකුගේ ය.
මදක් ඉදිරියෙන් වූ ලෙනකට එබිකම් කළ විට දුටු දෙයින් මගේ හද කම්පා විය... නිදන් මතු කර ගැනීම සඳහා යමෙකු විසින් පුරාතන ලෙන් පියසක් විනාශ කර තිබුණේ ඒ අයුරිනි... ආදිවාසීන් නොඑසේ නම් යම් තපස්වීයකුගේ හිසට සෙවණ දුන් ඒ ගිරි කුළ අද නැසූ කන්ව, අඳව ගිය නෙතු ව ‘ගල්’ වී සිටිනුයේ මේ විනාශය දැකීමට හෝ ඇසීමට නොහැකි, නැතිනම් ඒ සියල්ල දරා ගත නොහැකි නිසා විය යුතු ය...
මග දෙපස ද ඇතැම් ගල් කුළු බිඳ දමා ඇති සෙයක් පෙන්නුම් කරන්නේය.. ඇතැම් තැන් සිමෙන්ති වලින් වසා දමා ඇති බව වුවමනාවෙන් නැරඹුවකුට පෙනී යයි. විනාශ කළ තැන් නැවත නගා සිටුවීමට නිශ්ඵල නිරර්ථක උත්සාහයක් ගෙන ඇති බව නිතැතින්ම පෙනී යන්නේ පෙර පැවති ස්වභාවික පෙනුම වෙනුවට කෘතිම බවක් ආරූඪ වී ඇති හෙයිනි..
තරමක නැග්මක් පසු කොට වනයේ ඉහළට වන් කල පෙරට වඩා විශාල ලෙන් පියසක් මුණ ගැසුණෙන් අප එහි සිට ආහාර ගැනීමට හිඳ ගත් විටය, පියස්ස වටා නෙළා ඇති කටාරම දුටුවේ... ඇත්තෙන්ම එය ඉතාම සුක්ෂමව නිම කර ඇත.. නොඅනුමානවම මෙය ද යම් තපස්වී උත්තමයකුගේ සත්‍ය ගවේශණය සඳහා රුකුල් දුන් මහා කෙම් බිමක් බව පෙනෙන්නේ ය.. දැනෙන්නේ ය..
මෙම වනාන්තරයට ඇති පිවිසුම් දෙකෙන්ම දෙවරක් මෙම භූමියට ඇතුළු වූ අපට පසක් වූ තවත් එක් වැදගත් කරුණක් විය. එනම් පළමුව, දෙපසින්ම සමාන ප්‍රමාණ වලින් කන්ද තරණය කළ විට, බිම් මට්ටමේ සිට එකම උසකින් දෙපසින්ම මුළු අම්පාර පුරවරයම නැරඹිය හැකි ස්වභාවික ආරක්ෂක නැරඹුම් පීඨිකා දෙකක් පිහිටා තිබීම ය. දෙවනුව, එම ස්ථාන වල සිට නැවතත් සමාන ප්‍රමාණ වලින් කන්ද තරණය කළ විට, කටාරම් කොටා ඇති තරමක් විශාල ලෙන් ගුහා දෙකක් පිහිටීමය... සැබවින්ම මෙය විස්මය එළවන සුළු භූ පිහිටීමකි... ඊටත් වඩා විස්මය දනවන්නේ මෙම ස්ථානය රජ මාළිගාවක් වැනි ඉදිකිරීමක් කිරීමට පෙර ගවේෂණය කර, පිඹුරුපත් සකස්කළ ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පියා පිළිබඳව ය...
දෙපසින්ම මෙම ලෙන් පියැසි දෙක පසු කොට සමාන දුරක් නැගි විට කන්ද මුදුනත පිහිටි සානුවට පිවිසිය හැක. අප පළමු දිනයේ පැමිණි ප්‍රවිෂ්ඨයෙන් කඳු මුදුනතට පැමිණි විට දුටු දසුනින් ඇතිවූයේ පහන් සංවේගයක් නොව හද රිදුම්දෙන වේදනාවකි... ගල් තලය මතුපිට වූ නටබුන් සූරා කෑ බවට ශාක්ෂි එමට විය. අළුතින් බිඳින ලද ගල් පතුරු ද එහි වූයෙන් එය හඳුනා ගැන්මට අපේ නෙත් අසමත් වූයේද නැත. නටබුන්ද සුන්වු මෙම ගල් තලයේ අමුතු යමක් ඇත් දැයි පිරික්සීමට අප දෙදෙනා දෙපසකට ගොස් බැලීමට සිතුවද, අළුතින් හෙළන ලද සත්ව වසුරු දුටු අප, එම විවිධ වර්ගයේ වසුරු අනුව සවස් වන විට වල් අලි, දිවි, වළසුන්, වල් ඌරන් වැන්නවුන් මෙම ස්ථානයට පැමිණෙන බව නිගමනය කෙළෙන් එම අදහස වහා ඉවත්කොට ගෙන දෙදෙනාට දෙදෙනා ඇස ගැටෙන මානයෙන් සිට නිරික්සීමට වග බලා ගතිමු.
මෙම වනය තුළ මා කුල්මත් කළ සුපුරුදු විශ්මයජනක බව නැවතත් මා ඉදිරියේ විද්‍යමාන විය... එය නම් ගල් තලය මතුපිට කර ඇති තවත් විශ්මකර්ම නිර්මාණයකි...එය මෙසේ පැහැදිළි කරන්නම්..
අඳුරු ගල් කුළක මුල්ලට වන්නට තනා ඇති අඩි 20ක් පමණ දිගැති අඩි 7ක් පමණ පළලැති ඍජුකෝණාස්‍රාකාර දිය අගලකි... මෙහි නිරතුරු වන සතුන් ගැවසෙන්නේද එම නිසා විය හැක. එහි සිට මද බෑවුමකට වන්නට ගල මත ආනතව කපන ලද එකක් අඩියකට සහ අනෙක අඟල් හයකට ආසන්න විශ්කම්භයෙන් යුතු වූ ජල සිදුරු දෙකක් එකිනෙකට මදක් ඈතින් නිර්මාණය කර තිබුණි.. ඉතාම විමසිල්ලෙන් බැලූ කල එම ජල සිදුරු දක්වා ඉහල ගල් තලයේ සිට කරන ලද ඉපැරණි සියුම් ගල් බදාම පහරවල් දෙකක් පෙනේ... ඇතැම් විට එම සිදුරු වෙත ජලය ගෙන එන භුගත ජලනල පද්ධතියක් විය හැක... වැසි කාලයට මෙම සිදුරු වලින් මලක ආකාරයට අධික පීඩනයෙන් යුතුව ජලය විදින බව අපි පසුව ගැමියකුගෙන් දැන ගතිමු.. ‘මෙලොව අදහාගත නොහැකි යම් දෙයක් වේ නම් ඒ මෙතැනය’ යි ද මට සිතිණි... මෙම ආශ්චර්යය පියවි දෙනෙතින් නැරඹීමට නම් වැසි දිනෙක නැවත මෙහි පැමිණීමට අදිටන් කර ගතිමු.
පසුගිය ශනි දින මෙම මහාර්ඝ බිම් කඩ නැරඹුමට දෙවන පිවිසුමෙන් පැමිණි අප ගල් තලය මුදුනට සපැමිණි විට එය එකම නටබුන් පුරවරයක් සේ දිස්වන්නට විය.. විශාල වර්ග ප්‍රමාණයක (යටත් පිරිසෙයින් අක්කර කිහිපයක) පැතිරී පවත්නා රාජ මාළිගාවක් යැයි අනුමාන කළ හැකි ඉපැරණි ගොඩනැගිල්ලක අතීත ශ්‍රී විභූතිය ලොවෙන් සැඟවී පැවැත්නේ ඒ අයුරිනි.. එක් තැනක් පැහැදිළි ලෙස දිය කෙළි මණ්ඩපයක සිරි පෙන්නුම් කළ අතර තවත් තැනක් මනරම් රඟ මඩලක් සේ දිස් විය.. මෙහි වාසය කළවුන් සුර සැප පරයන රජ සැප විඳි බව නම් ශාක්ෂි එමට ය..
ගිලා බැස ඇති සෑම පියගැට පෙළක් ම විසිතුරු කැටයමින් සමන්විත වාහල්කඩක් හෝ කොරවක් ගලක් එසේ නොමැති නම් අත් වැටකින් මනරම් සේ අලංකෘත වී ඇත... එවන් පියගැටපෙළ සමූහයක් විවිධ ස්ථාන වලින් සොයා ගත හැකි විය... එක් ස්ථානයක නටබුන් නරඹා හමාර වන විට තවත් පෙදෙසකින් එවැනිම නටබුන් පුරවරයක් හමු වන්නේය... දිය කෙළි මණ්ඩපයට ජලය සැපයූ ගල් උමගක්ද තවමත් සුරක්ෂිතව පවතී... එමෙන්ම එම මණ්ඩපයේ කවාකාර කොටසක තරමක් දියුණු අක්ෂර මාලාවකින් සමන්විත සෙල් ලිපියක් විය... එහි කොටසක් ද විනාශ කර, එම සුන් බුන් ද ඉවත් කර ඇති අන්දමක් දැකගන්නට හැකි විය..
ඒ අතර ඇතැම් තැනක නෙත්කළු කැටයමින් යුත් කළයක හැඩැති සෙල් නිමැවුමක් සිත් පිත් නැති අන්දමින් දෙපළු කර දමා තිබුණේ ඒ තුළ සැඟවුණු වස්තුව සොයන්නට විය හැක... එහෙත් අප මුතුන් මිත්තන්ගේ අමිල වස්තුව වූ ඒ උදාර රිහිරි මාංශයේ අවසන් දියාරු කොටසද මිනිස් වෙසින් ආ අමනුෂ්‍යයන් විසින් උරා බී හපය පමණක් විසිකර තිබුණේ ඒ අන්දමට ය..
ඉන් මදක් ඔබ්බට වන්නට වන පෙත ආසන්නයේ නැවතත් නටබුන් අතර ඉතා සුමටව කළ විශාල ශෛලමය පාත්‍රයක් දිස් විය.. එහි කොටසක් බිඳී තිබුණු අතර පියන ද බිඳී ඒ අසළ රැඳී තිබුණි.. ඒ අසළම ශෛලමය සිංහ මුඛයකින් ගලා හැලෙන හිම මෙන් පිවිතුරු සිසිල් දිය දහරකි...
තවත් තැනෙක වීදුරු කැටපතක් මෙන් වූයේ සුන්දර සෙල්මුවා ජල තටාකයකි... එය ද හිම මෙන් වූ සිසිල් ජලයෙන් යුක්ත වූයේය.. කවරාකාර නියඟයකදී වුව සිඳී නොයන මෙය ඇත්තෙන්ම විශ්මිත ය... මෙය බිසෝ වරුන්ගේ සුඛ විහරණය සඳහාම නිර්මිත එකක් බවද පෙනී යන්නේ ය.. එයට බසින පියගැටපෙළ ද මනරම් කැටයමින් විචිත්‍ර වූයේ, ඇතැම් කුළුණු වන් නිර්මාණයන් යමකු විසින් ඉවත් කර තිබුණේ ‘තමන්ගේ බූදලය’ මෙහි ද සෙවූ බවට ඉඟියක් ඉතිරි කරමිනි....
මදක් ඉහළ භූමියක විසිරී ගිය ගල් ඇති තැනෙක පුවරුවක් සවි කර තිබුණේ මෙය අනුබුදු මිහිඳු මා හිමියන්ගේ සහ දිවයිනට බුදුදහම රැගෙන ආ ඉට්ඨිය තෙරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර තැනූ ස්තුපය බව සඳහන් කරමිනි.
මේ වන විට සැඳෑ අඳුර සමග එක්වරම අහස් තලය වසා ගනිමින් පැතිරුණු කළු වලාව, මහ වැස්සක පෙර නිමිත්තක් රැගෙන ආ බැවින් සහ දරුණු වන සතුන් මෙහි රජයන වේලාව එළැඹි බැවින් අපි ගවේශණ කාර්යයට කොමාවක් තබමින් එම අමිල උරුමයට තාවකාලිකව සමු දුන්නෙමු.
දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ රක්ෂිතයක් බවට පත් කර ඇති මෙම ඝන වනාන්තරය එල්.ටී.ටී.ඊ. උවදුරු හේතුවෙන් මේ වන තුරු මිනිස් ඇසින් දුරු වී පැවතුණු බව ගැමියෙක් ගෙන් දැනගතිමු. දැනුදු, ඉඳ හිට දර ඇහිඳීම පිණිස වනයට පිවිසෙන අහිංසක ගැමියකු විනා සංචාරකයන් නිරතුරු මෙහි නොපැමිණෙන්නේ එහි වූයේ ඝන වනාන්තරය නිසා වීමත්, ඇත්තෙන්ම මේ පිළිබඳ දැනුවත් වී නොසිටීමත් නිසා විය හැකි ය.
එනමුදු මෙම භුමිය නිදන් සොරුන්ගේ සහ “බලයලත් නිදන් මංකොල්ල කරුවන්ගේ” පාරාදීසයක් වී තිබුණු බව නම් නොරහසකි. ඒ උපකල්පනය ස්ථිර කරමින් “ඒ කාලෙ ආණ්ඩුවෙන් හැමතැනම රැකවල් දාල මුළු කැලේම පීරුව තමයි මහත්තයො. හම්බුණා නම් තමයි... ඒවයින් තමයි උන්දැල සුර සැප විඳින්නෙ.. ඒත් හාරපු තරමට ලැබුණෙ නෑ... අන්තිමට වුණේ ඉතිරි නටබුන් ටිකත් සුන්බුන් වෙච්චි එකයි... අපි දර කෑල්ලක් අහුල ගන්න කැලේ වැදුණාම තමයි උන්දැලට රුදාව මහත්තයො... ” යැයි අහිංසක ගැමියකු පැවසුවේ ගමන අවසානයේ විඩා නිවන්නට ඔහුගේ ගෙපැළට වන් අපට, කළයෙන් හළා ගත් වතුර වීදුරුවක් පිළිගන්වමිනි. මෙහි මා ගැමියාගේ වදනින් සඳහන් කළ ‘ඒ කාලේ’ යනු කුමන කාල වකවානුව දැයි අර්ථ නිරූපණය නොකරන්නේ කුමන ආණ්ඩුවක් විසින් කළද සංරක්ෂණය කරන මුවාවෙන් පුරාවස්තු කෙළෙසීම මහ පොළව නුහුලන ජාතික අපරාධයක් බව, පක්ෂ පාට භේදයකින් තොරව සැමට ඒත්තු යා යුතු බැවිනි.
මෙම මහාර්ඝ විරල භූමි භාගය සැබවින්ම දෙනෙත් ඇත්තන් විසින් නරඹා හදක් ඇත්තන් විසින් පහන් සංවේග උපදවා, සිතක් ඇත්තන් විසින් විඳිය යුතු මිහිපිට පිහිටි අපූර්වතම වස්තුවකි... එහි බිම් අඟල පවා, ගල් පොත්ත පවා, දළු රිකිල්ල පවා අයිති අප දයාබර මහී කාන්තාවගේ රූබර දියණිය වූ මේ ලක් ධරණී තලයට මිසක ඔබ, අප වැනි තනි අයිතිකරුවකුට නොවේ....
එබැවින්, එහි යන්න... විඳිය යුතු දේ විඳින්න....
සුසුමකින් වත් එම පරිසරයට හානි නොකරන්න...
අපගේ පැරැන්නන්ට නොමසුරු ස්තුතිය පුද කරන්න...
ඔබගේ ස්තූතිය සමග පිය සටහන් පමණක් එහි තබා ආපසු එන්න...
ඔබට සුභ ගමන්....!