Monday, November 7, 2011

බිග් මැච්, තාරුණ්‍යය සහ අධ්‍යාපනය

වත්මන් අධ්‍යාපන රටාව, අද සමාජයේ බෙහෙවින් ආන්දෝලනාත්මක, එමෙන්ම උහතෝකොටික සංවාදයන්ට බඳුන් වන පැති කඩක් බව නොරහසකි. මෙහිලා අප සියලු දෙනා පොදුවේ සලකා බලන සාධකයන් මෙන්ම සමාජයේ සහ විද්වතුන්ගේ විචක්ෂණශීලී ඇසට හසු නොවූ යම් යම් සියුම් ඉසව් ගවේෂණය කිරීම, අප අනාගත පරපුරේ අභිවෘද්ධිය පිණිසම හේතු වේ යයි උපකල්පනය කරමි. හුදෙක් පටු දේශපාලනමය අරමුණු මුදුන්පත් කරගැනීම තකා හෝ වේවා, අධ්‍යාපනයේ සැබෑ අභිවෘද්ධිය සඳහා හෝ වේවා යම් යම් ඉලක්කගත සිද්ධීන්ටම පමණක් මෙම පුළුල් මාතෘකාව සීමා නොකොට, එහි අලමුල ගිය තැන මෙන්ම යටගිය තැන් පවා සැබෑ සමාජ ප්‍රේමිත්වයෙන් විග්‍රහ කිරීම යෙහෙකැයි සිතේ.

විභාග ප්‍රශ්න පත්‍ර හා උත්තර පත්‍ර එකවිට බෙදා දීම, පාසල් පෙළපොත් සහ විභාග ප්‍රශ්න පත්‍ර වල මුද්‍රණ හා තාර්කික දෝෂ මෙන්ම පෙළපොත් බෙදා දීමේ අසමතුලිතතාවයන්ද, අධ්‍යාපන බලධාරීන්ගේ මූල්‍යමය අක්‍රමිකතාද වත්මන් නිදහස් අධ්‍යාපනය අරක් ගෙන ඇති පරිපාලනමය සාධකයන් සේ පෙනුනද විවිධ පාලන ක්‍රමවේදයන් තුලින් එය නිරවද්‍ය කරගැනීමේ සම්භාවිතාවයද අප විද්වතුන් සතු විය යුතුය. එහෙත් ඊට වඩා පුළුල් වූ නිදහස් අධ්‍යාපනයේ තිරසාර පැවැත්ම සහ ප්‍රගතිය අධීක්ෂණය කිරීමට ප්‍රථම, අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක විශ්ලේෂණයක් කිරීම කාලෝචිත යැයි සිතන්නෙමි.

අධ්‍යාපනය යනු කුමක්ද? එමෙන්ම උගත්කම යනු කුමක්ද? උගත්කම සහ බුද්ධිමත්කම අතර වෙනසක් තිබේද? තිබේ නම් ඒ කෙසේද? මොනවාද?

නූතන තරගකාරී සමාජ රටාව අනුව අධ්‍යාපන ක්‍රමවේදයන් සැකසී ඇත්තේ ළමුන් කටපාඩම් රොබෝවරුන් බවට පත් කිරීමටද? නොඑසේ නම් ඔවුන් පාසල් පොත් මලු බර අදින මිනිස් යාන්ත්‍රිකයන් කිරීමක්ද?

පාසල විසින් ලබා දිය යුත්තේ මෙකී අධ්‍යාපනය පමණක්මද?

විෂය කරුණු වලදී වඩාත්ම ප්‍රවීණතාවය දක්වන සිසුවා සියලු ගුරු භවතුන්ගේ දක්ෂතාවය දිනා ගන්නා දීප්තිමත් දරුවා බවට පත් වන අතර එසේ නොවන දරුවා පන්ති කාමරය තුල මෙන්ම පාසලේදීද කොන් වීමකට ලක් වේ. ඔහු හෝ ඇය තුල සැඟවුණු විවිධ කුසලතා තිබුණද, ඒවා ඔප නංවා අනතුරුව එම සිසුවාද දීප්තිමත් තරුවක් කිරීමට මෙම අධ්‍යාපන රටාව තුලින් ලබා දෙන තල්ලුව මද බවක් හැඟේ. මේ සම්බන්ධයෙන් අපහට ගත හැකි හොඳම උදාහරණය "සියවසේ මිනිසා" නොහොත් මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ප්‍රාඥයා ය.  අප ලෝකයේ සැබෑ දක්ෂයා සැබවින්ම බිහි වන්නේ පොත් තුලින්ම පමණක්ද යන්න පිලිබඳ මෙහිදී ප්‍රශ්නාර්ථයක් නැගේ.

වත්මන් පාසල් ශිෂ්‍ය පරම්පරාව මත පතිත මහා මේඝයක් ලෙස පාසල් ශිෂ්‍ය විනය තිරය පිටුපස රංගනයක් රඟන බව අද අප ගුරුවරුන් අවබෝධ කරගෙන ඇත්ද? ඔවුන් සිසුන්ගේ විනය, හික්මීම සංහිඳියාව කෙරෙහි අවධානය යොමු කොට තිබේද? එසේ නම්,

"big match fever" කාල පරිච්ඡයේදී නගරවල බාලිකා පාසල් ඇතුළු ගොඩනැගිලි වල ආරක්‍ෂිත තාප්ප දූෂණය වන්නේ කෙසේද?
තාරුණ්‍යය යනු මනුෂ්‍යයකුට ජීවිතයේ හිමිවිය හැකි මිහිරිතම කාල පරිච්ඡේදය බව අමුතු කොට නොකිව මනාය. තාරුණ්‍යයට ළමුන් හිමිකම් කී පමණින්ම එකී සුන්දර වූ තාරුණ්‍යයේ මිහිර, නැවුම් බව, පිවිතුරු බව අකා මකා දමා අන්ත රැඩිකල්  වාදීව එම සුන්දරත්වය කෙලෙසීමට ඔවුනට ඇති අයිතිය කුමක් දැයි විමසීමට කැමැත්තෙමි. පෙර වසර වලදී බාලිකා පාසල් තාප්ප වලටම පමණක් උරුම වූ මේ දුර්භාග්‍යය දැන් දැන් නගරයේ ප්‍රසිද්ධ තාප්ප බැමි පමණක් නොව පෞද්ගලික නිවාස වල තාප්ප ආදියද සිය මූසල ඝන කළු සෙවනැල්ලෙන් වෙලා ගනිමින් සිටියි. එය එමතුදු නොනැවතී නාම පුවරු, මාර්ග සඥා පුවරු ආදියද සිය ග්‍රහණයට ලක් කරගෙන අවසානය. "ලෝක උරුම නගරය සුරකිමු" යැයි සෙංකඩගල පුරවරයේ අලංකාර ලෙස සකස් කර ඇති සිමෙන්ති නාම පුවරුවේ එම සටහනද මකා දමමින් නගරයේ අති ප්‍රසිද්ධ පිරිමි විදුහලක සිසුන් පිරිසක් විසින් "big match texts" ඇඳ තිබුණි. ඉදින් එය ලෝක උරුම නගරයේ තිරසාර උරුමයට අලගු තබන්නක් නොවේද?

බාලිකා පාසල් වල තාප්ප දැකීමට පවා හිරිකිත වන්නේ ඇස් ඇති අයකුට නැරඹිය නොහැකි තරම් ජුගුප්සාජනක වන අන්දමේ අසැබි වදන් සටහන් කර ඇති බැවිනි. එය එපමණකින්ම නොනැවතී සුන්දර වැව රවුමේ ඉදි කර ඇති තාප්පයේ ඉතාම පිළිකුල් ජනක රූප සටහන් ඇඳීමට තරම් අප යොවුන් පරපුර ප්‍රාථමික වී ඇති නියා ය...!!

මෙම සංස්කෘතිය වහා හෙලා දැකිය යුතු නොවන්නේද? බලධාරීන්ගේ ඇස්, මේ සම්බන්ධයෙන් මේ වන තුරුත් විවර නොවූවා වැන්න... අධ්‍යාපන බලධරයන්ගේ මෙන්ම පාරිසරික බලධාරයන්ගේද නෙත් සිත් මේ වෙත යොමු විය යුතු මොහොත දැන් වත් එළඹිය යුතු වන්නේය.

විවාහක, වැඩිමහලු කාන්තාවන්ට වුව අද දින නිදහසේ ගමනක් යාමට නොහැකි බව මෙම ශෝකාන්තයේ තවත් එක අනුවේදනීය කෝණයකි. කාන්තාවන්ගේ යම් විලාසිතාවන් මෙම තත්වයට ඍජුවම බලපාන බවට අයෙකු විසින් ඇඟිල්ල දිගු කලද, එහි යම් සත්‍යතාවයක් පැවතුණද, එම මාතෘකාව වෙනත් පුළුල් පැතිකඩකින්, විශේෂිතම  වූ පරාමිතීන්ට බඳුන් කොට විග්‍රහ කල යුතු මාතෘකාවකි. නමුත් උක්ත කතාවේ ශෝකාන්තය නම් වත්මන් සිසු පරපුර ද එවන් "චාරයක් නොමැති පිරිමින්" නම් කුලකයට අයත් වීමය. ඇතැම් විට සමහර පාසල් සිසුන්ගෙන් වැඩිහිටි ශිෂ්‍යාවන්ට, සම වයස් සහ බාල වයස් ශිෂ්‍යාවන්ට මෙන්ම වැඩිහිටි විවාහක ලඳුන්ටද යම් යම් අපයෝජන ඇති වන බව කාන්තා අප උදක්ම දන්නා කරුණකි. අපයෝජනය සිදු වන්නේ වාචික වශයෙන්ද, එසේත් නොමැති නම් කායික වශයෙන්ද යන්නද වැදගත් නොවේ. බස් රථ තුලදීද, නොඑසේ නම් මහමග දීද යන්නද වැදගත් නොවේ. වඩාත් වැදගත් වන්නේ කාගෙන්ද යන්නයි. තරුණියක් ඉතා සංවර ඇඳුමෙන් සැරසී සිටියද, තරුණ සිසු පරපුර ඇයගේ ඇඳි වතද විනිවිද යන දෑස් වලටම හිමිකම් කීම අප සැමගේ අභාග්‍යය නොවන්නේද?

කාන්තාවක් දෙස සිය මවක්, සහෝදරියක්,  නැගණියක් ලෙස බලන්නේ අද තරුණ සිසු පරපුරෙන් කීයෙන් කී දෙනාද? සිසුවියකගේ ප්‍රේමය ඉල්ලා අසාර්ථක වූ විට අයගේ චරිතය කෙලෙසීමටත් ඇය "බ්ලැක් මේල්" කිරීමටත් තරම් අද ශිෂ්‍ය සමාජය අසික්කිත මෙන්ම දුර්දාන්ත වී ඇත්තේ මන්ද? ඉන්පසුව ඇතැම් විට නිර්දෝෂී අහිංසක සිසුවියට සමාජයේ හිමිවන නම්බුනාමය කිමෙක්ද? නොඑසේ නම් මිහිරි යෞවනයේ ප්‍රේමය අස්වාදනය කරන සිය ශිෂ්‍ය පෙම්වතියව (සුදුසු දෙයකැයි නිර්දේශ නොකරමි ) කෙලෙසීමට තරම් මේ ළමා ලපටි සොඳුරු සිත් දූෂ්‍ය වූයේ මන්ද? මෙය බහුතර ලෙසම දක්නට ලැබෙන්නේ අද සමාජයේ "ජනප්‍රිය" යයි ලේබල් අලවාගන්නා පාසල් ස්ථරය තුලය. එවන් පාසලකට ඔබගේ දරුවා ඇතුලත් කිරීමට ඔබද තරගකාරී වනවා නොවේද? මෙවන් පාසල් "ජනප්‍රිය" වූයේ මෙවැනි කරුණු නිසාද යන්න පිළිබඳවද අතුරු පැනයක් නැගේ. නොඑසේ නම් පාසලේ "ජනප්‍රිය" ලේබලය, මෙවැනි දුර්භාග්‍යයන් සඳහා එම පාසල් ගොදුරු කර ගැනීමට රුකුලක් වුණිද යන්න පිළිබඳවත් විමසුම් ඇසින් බැලිය යුතු වේ.

ප්‍රථමයෙන් අග නුවරටම සීමා වී තිබු මෙම අන්තගාමී රැඩිකල් රැල්ලේ අසික්කිත "big match සම්ප්‍රදාය" දැන් දැන් රට පුරාම වසංගතයක් සේ පැතිර ඇත. අප තරුණ පරපුර කිසිම රසකාමීත්වයක්, වින්දනයක්, ජවයක් නොමැති උදාසීන හණමිටි වාදීන් විය යුතු යයි මම තර්ක නොකරමි. අපට ඔවුන්ගේ ජවය, උද්යෝගය, ශක්තිය අවශ්‍යය. අපේ රටේ කොඳු නාරටිය ඔවුන්ය. නමුත් මා හෙළා දකින්නේ එම සම්ප්‍රදායේ දුර්භාග්‍යවන්ත, අවිචාරවත් අමන පැති කඩය.  තාරුණ්‍යයේ රස, සුවඳ, ජවය විඳ ගැනීමට වෙනත් ක්‍රමෝපායයන් ඔවුන් සතුව නොතිබෙන්නේද? ඔවුන් අභාග්‍යයම සොයා යන්නේ අපේ රටේ අනාගතයද අභාග්‍යයේ වල පල්ලට ඇද ගෙනමය.

පාසල් විනය භාර ගුරු භවතුන්ගෙන් එම පාසලට නිසි ලෙස සේවයක් සිදු වන්නේද? සිදු වන්නේ නම් ශිෂ්‍ය විනය විරෝධී මෙවන් දේ එළිදකින්නේ කෙසේද? මෙම ගැටලුවේද නීතිය, බලය, රාජකාරිය සහ බඩගෝස්තරය අතර සිදුවන අන්‍යෝන්‍ය ඝට්ටන තිබිය හැක. ඔවුන්ද රජයෙන් වැටුප් ලබන හුදු පිං පඩි කාරයන් සේ යමෙකු හැඳින්වූවද, එම ගුරුවරුන් අතරද බලපුළුවන්කාර සල්ලිකාර මදාවි පුත්‍රයාගේ නොහික්මුණු විනයට දඬුවම් දුන් පමණින් සේවා තහනම් හෝ දුෂ්කර සේවා ස්ථාන මාරුව, ගුරු පඬුරු ලෙස ලද ශික්ෂාකාමී දිසාපාමොක් ඇදුරුතුමන්ද සිටිය හැක. තවද, සැලකිය යුතු නොවන සුළු ශාරීරික දඬුවමකට පලිය ලෙස සිය දිවි හානි කරගත් සිසුවාගේ නිර්දෝෂී ගුරු දේවයාද සිටිය හැක...


මේ සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ට ගුරුවරුන් විසින් දෙන දඬුවම් දැඩි ලෙස අමානුෂික බව අයෙකු තර්ක කිරීමට පුළුවන...   සිසුන්ට හානි වන අන්දමේ දැඩි දරුණු දඬුවම් ලබා දීම මම සහමුලින්ම හෙලා දකිමි - නමුත් හැඳි නොගා හදන හොද්දේ රසයක් නැතිවාක් මෙන්ම අත නොගා හදන බඳුනේ හැඩයක් නොමැති බවත් අලුතින් නොකිව මනාය. සිසුන්ට දරුණු ශාරීරික හානි සිදු නොකිරීමට ගුරු භවතුන් වග බල ගත යුතු අතර, ගුරුවරුන් සුළු දඬුවමක් ලබා දෙන්නේ යහපතට බවත්, එනිසා යහමග යන ලෙස උපදෙස් දීමටත් මූලික වී, මෙහිදී දෙමවුපියන්, සිය දරුවන්ගේම පස නොගෙන ඉතාම බුද්ධිමත්ව තුලනාත්මක වියයුතුය. මෙවන් විටකදී දෙමවුපියන් තීරණය කරන්නේ තම දරුවාගේම ඉරණම් ඵලය බව සිහි තබා ගැනීම වැදගති.

වත්මන් පාසල් පද්ධතියේ එක් අඳුරු නිහඬ මුල්ලක තහනම් උත්තේජක, තහනම් ඖෂධ, නිල් චිත්‍රපට, මත්කුඩු, මත්ද්‍රව්‍ය, ලිංගික හා සමලිංගික සේවනය බහුලව ව්‍යාප්ත වී ඇති ව්‍යසන ජාලයක් බව අප බලධාරීන්ට නොපෙනෙන්නේද? ඔවුන් මෙය දැන දැනත් මුනිවත රැක නිද්‍රාශීලීව පසුවන්නේ සිය කුවේරවාදී දරුවන්ද මෙම ව්‍යසන ජාලයේ ප්‍රධාන භූමිකාවක් රඟන හෙයිනැයි අනුමාන කල හැක...

මෙවන් දේ උසස් යයි සම්මත පාසල් සමාජයේ නොරහස්ව පවතී. "බලවතකුගේ අය නම් ලැබෙයි නිදහස් - එසේ නොමැති නම් රාජ උදහස්" යන අප රටේ පොදු න්‍යාය මෙහිද බලපාන බව සත්‍යය. එනමුදු අප රටේ වගකිව යුතු පුරවැසියන් ලෙස පාසල් හරහා විසිරී පැතිරී පවත්නා මෙම සැඟවුණු භයානක සමාජ ව්‍යසනය මැඩලීම කෙරෙහි අප රටේ විද්වත් සමාජ වේදීන්ගේ, පරිසර බලධාරීන්ගේ සහ වියතුන්ගේ මනැස් මසැස් දූරදර්ශීව යොමු විය යුතුව ඇත්තේය.

ඒ මන්ද යත් මතු පරපුර බිහි වන්නේ මෙවන් දිරාගිය අට්ටාලයක රඳා පවත්නා අධ්‍යාපන රටාව මත වන බැවිනි. එය බීදී යා නොදී රැකිය යුතු නොව ශක්තිමත්ව නිම කල නව වේදිකාවකට ගෙන ආ යුතුය.... එය අත් වැටකින්ද සවිමත් කර, ආරක්ෂාව ලබා දිය යුතුය... ඒ අන් කිසිවක් පිණිස නොව, අප රටේ කොඳු නාරටිය වන දරු පරපුර ශක්තිමත් කිරීමේ අධිෂ්ඨානයෙනි...

Saturday, August 27, 2011

ඉහිරුණු ළය කිරි....

මරා විසි කරන්නට නම් - හදන්න‍ට එපා නොදරුවන්
නොමරා අතැර යන්නට - මව් සිතත් දැඩි නම්
ළය කිරට ණය නැතිය - වැදු මව්ට සිතේ නම්
“ලේකැටි මගෙ මුවට - ඇයි ද අම්මේ එකිරි තහනම්”

අයුතු පෙම කැප නම් - අකැප වූයෙද බිළිඳු සුරතල්
කිරි සිනා පවක් මෙන් - පෙනෙනු කෙළෙසද එපෙම් සුව නම්
“රැ‍‍දෙමි සිතුවද මව්ගෙ දෑතින් - ඇයිද අම්මේ මරන්නේ මං”
නුඹේ පෙර පව් කම් - උපන් දරුවන් පි‍ටින් නොයවන්...

අදිසි හස්තය

පන්දම මුට්ටිය උදැල්ල මඩ - ප්‍රධාන චරිත රඟන,
අල්ලස විසින් අධ්‍යක්ෂණය කල - දූෂණය විසින් තිර රචනය කල,
විනිවිදභාවය හා සද්භාවය දුෂ්ටයින් ලෙස පෙනී සිටින,
දේශපාලන වේදිකාව මත
දේශපාලු ආලෝක කරණයෙන් බැබලෙන
VAT  NBT  BTT යන නැරඹුම් පීඨිකා, මහජන රසිකයන්ගෙන් පුරවා ලන
අකමැත්තෙන් වුවත් රසිකයන්ටම අනුග්‍රහය දක්වන්නට සිදු වන
කොච්චර බැලුවත් එපා නොවෙන
එපා වුවත් නිම වෙන්නට පෙර පිට වන්නට නොහැකි
ජන මාධ්‍ය, තිරය පිටුපස රංගනයක නිරත වන
අපූරුම නරි නාටකයකි රාජ්‍ය සේවය.


අපි......

අපි...
ලස්සන හෝ කැත වෙන්නේ අන් අය තමුන්ගෙ පෙනුම ගැන හිතන විදිහට සාපේක්ෂව.
දුප්පත් හෝ පොහොසත් වෙන්නේ අනුන්, තමුන්ගෙ වත්කම ගැන තියෙන ඇස්තමේන්තුවට සාපේක්ෂව.
කළු හෝ සුදු වෙන්නේ අන් අය තමුන්ගෙ හමේ වර්ණය ගැන හිතන විදිහට සාපේක්ෂව.
ඇති හැකි හෝ නැති බැරි අය වෙන්නේ අන් අය තමුන්ගෙ බලපුළුවන්කාරකම ගැන හිතන විදිහට සාපේක්ෂව.
උගත් හෝ නූගත් වෙන්නේ අනෙකා ලබාගත් අධ්‍යාපන මට්ටම් වලට සාපේක්ෂව.
ගොඩේ හෝ posh වෙන්නේ එකිනෙකා ආශ්‍රය කරන සමාජ වටපිටාව, ජීවන රටාව ආදියට සාපේක්ෂව.
සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් හෝ බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් වෙන්නේ අනිත් කෙනා අදහන ආගමට නැත්නම් ජාතියට සාපේක්ෂව.
ඒත්...
අපි,
හොද හෝ නරක වෙන්නේත්,
වංක හෝ අවංක වෙන්නේත්,
චපල හෝ හෘදයාංගම වෙන්නේත්,
නපුරු හෝ අහිංසක වෙන්නේත්,
චරිතවත් හෝ දුශ්චරිතවත් වෙන්නේත්,
සත්‍යවාදී හෝ බොරුකාර වෙන්නේත්,
ආඩම්බර හෝ නිහතමාතී වෙන්නේත්,
මේ විශ්වය පාලනය කරන බලධාරීන් දෙන්නෙකුට සාපේක්ෂව.
ඒ තමා ලෝත පාලක ස්වභාව ධර්මතාවය හා අපේම හෘදය ශාක්ෂිය....
ඔබ සැමට සුභ දවසක්....

Friday, August 26, 2011

බලු පැටව් සහ කොලු පැටව්

සැප පුළුන් කොට්ටෙ උඩ

පුළුන් ගුලියක් වගේ

අඩු හතර අකුලගෙන

නෝනාගෙ සුරතලා

සුරංගනා ලෝකෙ...

රෑ දවල් එකවගේ

කන්නැතුව නිදිනැතුව

ගිනි අව්වෙ කර වෙවී

මහ වැස්සෙ තෙමි තෙමී

ගල් කැඩුවෙ නැත්තම්

දර පැළුවෙ නැත්තම්

ගණිතය පාඩමට

ඉල ඇට ගණන් කරන

මගේ කොලු පැටව් ටික

බඩගින්නෙ හැමදාම...

ඒ ඔක්කොමත් හරි

මෙන්න මේ ටිකත් හරි

නෝනාගෙ බල්ලාට

රබර් බෝලෙත් එක්ක

"කම් ඩාලින්" කියන්න‍‍ට

එවුන් ඉන්න ලෝකයේ

බඩවියත නැතුවටත්

අකුරු කරන මගෙ එවුන්ට

තුඃ‍ නොදකින් කියන්නට

එකෙක් නැහැනේ බොලේ...

පුංචි එවුන්ගේ පුදුමාකාර ලෝකය

පුංචි එවුන්ගේ ලෝකය හරි පුදුමාකාරයි. ඇත්ත‍ටම ඒක හරි සුන්දරයි. හරියට සුළගේ ඔහේ පා වෙවී යන සැහැල්ලු සමනලයෙක් වගේ. ම‍ට‍ත් ආපහු ඒ ලස්සන සමනල් විය‍ට යන්න පුළුවන් නම්...


මට එහෙම හිතුණෙ අද උදෑසන රාජකාරිය‍ට යන්න තාර පාර දිගේ ඇවිදගෙන එන කොට. මගේ ආදරණීය සැමියාගෙ ප්‍රාථමික විදුහල ඒ කියන්නෙ අම්පාර කාවන්තිස්ස කණිෂ්ඨය පහු කරගෙන තමයි මම වැඩට යන්නෙ. නිවසේ ඉඳල කාර්යාලය‍ට වැඩි දුරක් නැති නිසාත්, මේ පුංචි සමනල් පැටව් ටික හැමදාම දකින නිසාත් මේ පාර දිගේ දිනපතා මුණ ගැසෙන සුපුරුදු මුහුණු වලට හිනාවකින් සංග්‍රහ කරන ගමන් ඒ තාර පාරෙ හිමීට ඇවිදගෙන යන එක මට හරිම මිහිරි අත්දැකීමක්.


පුංචි එවුන් ටිකක් අත්වැල් බැඳගෙන “කිරි කිරි බෝලෙ” සෙල්ලම කරනවා. උන්ගෙ කිරි හිනාවෙන් මුළු පාසලටම කිරි උතුරනවා වගෙයි මට දැණුනෙ. එතන ගැහැණු පිරිමි ප්‍රශ්නයක් නෑ... කළු සුදු භේද නෑ... දුප්පත් පෝසත් වෙනසක් නෑ... හිත් වල මොනවත් නෑ... ඊර්ෂ්‍යා නෑ... තරහවල් නෑ... පළිගැනීම් නෑ...තියෙන එකම දේ සතුට, සැනසීම, ආදරය, කිරි දත් වැ‍ටුණ පුංචි කටවල් වලින් නැගෙන කිචිබිචිය සහ නිදහස විතරමයි...


ටික ටික ලොකු වෙන්න ලොකු වෙන්න...එක එක විදියෙ වන මෘගයන් වෙන්නෙ මේ සමනල් පැටව්මද කියන පැණයත් ඒ එක්කම හිත‍ට ආවා... ඇයි අනේ එහෙම වෙන්නෙ... මේ පැටව් වත් දන්නෙ නැහැනෙ තමුන්‍ට එහෙම වෙන බව...සමහරු උසස් නිල තානාන්තර දරන, ඇත්තටම සමාජයට වැඩක් කරන හොඳ පුරවැසියන් වෙන අතරතුර තවත් කට්ටියක් මුළු ලෝකෙටම වින කරන අමන නරුමයින් පිරිසක් බවට පත් වෙනවනෙ... ඒ ඇයි... තමුන් හැදෙන වැඩෙන වටපිටාව, දෙමව්පියන්ගෙන් ලැබෙන මග පෙන්වීම සහ ඔවුන් ගේ ගතිගුණ, සමාජමය බලපෑම වගේම සංස්කෘතික, ආගමික වාතාවරණයත් බලපානවා පුංචි ඇත්තන්ගේ මානසික සහ ආධ්‍යාත්මික සංවර්ධනය‍ට.


අපි හිතන්නෙ පොඩි එවුන්ට කිසි දෙයක් තේරෙන්නෙ නෑ කියල. අපි හැමෝම වරද්දා ගන්නේ ඔතනින්. ඒත් අපි පරිණත අය විදියට ටිකක් හිතන්නට ඕනෙ අපේ වැඩුණු මොළය‍ට වඩා, සීඝ්‍රයෙන් වැඩෙන පුංචි මොළය බලවත් කියල. ඇස‍ට දකින දේ, කනට ඇහෙන දේ, කතා කරන දේ මතක තියාගෙන ඉඳල පස්සෙ ඒ ගැන තනියම විග්‍රහ කරල බොහෝ දේ තෝරා බේරා ගන්න ඔවුන්‍ට පුළුවන්. ඒ නිසයි ළමා මනස ඉතාමත්ම ප්‍රවේශමෙන් හැසිරවිය යුතු දෙයක් වෙන්නෙ.


පුංවි කාලෙ ඔවුන්ගෙ ලෝකෙ ඉන්න මහා පතාක යෝධයො තමයි ගුරුන් හා දෙගුරුන්. ඊ‍ට පස්සෙ තැන ලැබෙන්නෙ බෝනික්ක‍ට, ටෙඩී බෙයාට නැත්නම් Spider Man සහ Super man ට. සහෝදරයො, යාළුවො ඊටත් පස්සෙ. ඉතින් ගුරුන් හා දෙගුරුන් දෙන දේ, කරන දේ තමයි ඔවුන් නිවැරදියි කියා පිළිගන්නෙ. ඒ නිසයි ඔවුන්‍ට ඉතාමත්ම පරිස්සමෙන්, හරිම දේ හරි විදිහට දෙන්න ඕන කරන්නෙ. දරුවන් වැල නොකැඩී විටෙක අහන ප්‍රශ්න අපිට ඇතැම් විටෙක වදයක්. නමුත් ඔවුන් ඉතාම ගවේශණශීලී විද්‍යාඥයන්. කිසිම දරුවෙක් මෝඩ නැහැ. හැම දෙයක් ගැනම ඉන්නෙ බොහොම කල්පනාවෙන්. ඒ වෙලාවකට ඔබ දෙන පිළිතුර තුළින් ඔබට පුළුවන් අනාගතයේ දක්ෂ විද්‍යාඥයෙක් බිහි කරන්නත්, ඒ වගේම අමු මෝඩයෙක් බිහි කරන්නත්. පොඩ්ඩක් දරුව දිහා බලන් ඉන්නකො එයාගෙ ප්‍රශ්නයක‍ට ඔබ උත්තරයක් දුන්න‍ට පස්සෙ කටේ ඇගිල්ලකුත් ගහගෙන කො‍ච්චර වෙලා කල්පනා කරනවද, එහෙම නැත්තම් අතුරු ප්‍රශ්න කොච්චර නගනවද කියල. ඒ තරම‍ටම ඔවුන් විචක්ෂණශීලීයි.


ඒ නිසා අපි, අම්මල තාත්තල දරුවන්ට මව් කිරි එක්කම පොවන්න ඕනෙ සාරධර්ම, ගුණධර්ම, ආදරය, සංවේදීත්වය, අනුකම්පාව දයාව කරුණාව වගේ දේවලුත්. හොඳ කෑම බීම, ඇඳුම්, පොත්පත් දෙනව වගේ දෙන්න ඕන ධෛර්යය, ආත්ම විශ්වාසය, සත්‍යවාදීත්වය, පෞරුෂත්වය, ස්වීයත්වය හා දරුවාගේ දෑස තුලින්ම ලෝකය දැකීමේ හා වටහා ගැනීමේ හැකියාව සහ ඒක‍ට ඇති අයිතිය. ගුරු වරුන්ටත් විශාල වගකීමක් තියෙනවා.. දරුවාට සිප්කිරි පොවන අතරතුරේ හොඳ නරක වගේම වැරැද්ද නිවැරැද්ද අවබෝධ කරල දෙන්න ඕන බොහොම සීරුවට. එවිට කවදාවත්ම වැදූ මව සහ හැදූ පියා වීමේ වරද, දරුවා ඉගෙනගත් පාසලේ වරද, සමාජය විසින් ඔබේ කර පිට නොපටවනු ඇති.

දුම්පානය කරන මගේ සහෘද පුරුෂ පාර්ශවයේ ඔබ සහෝදරයින් වෙත සාදරයෙනි...

මම මුලින්ම කියන්න ඕන කාරුණිකව මෙම සටහන පෞද්ගලිකව භාර ගන්න එපා කියලා. දුම්පානයේ ආදිනව ඔබලාට පැහැදිලි කර දෙන්න තරම් ඔබලා පොඩි අය නොවෙන බවත් මම දන්නවා. ඒ වගේම ඔබලා දුම් ‍බොන්නේ මගේ මුදලින් නොව, ඔබේ මුදල් වලින් බවත්, ඒ සම්බන්ධව මට කිසිම ගැටළුවක් නැති බව ඔබත්, මාත් දන්නා බවත් මම නැවත සඳහන් කරන්න කැමතියි. මොකද ඔය ප්‍රශ්න දෙකම දුම්වැටි ලෝලීන්, ඒ සඳහා විරුද්ධ වන්නන් වෙත නගන පොදු ප්‍රශ්න නිසා.

දුම්පානයේ ආදිනව උගත් බුද්ධිමත් ඔබ තුමන්ලා ඇත්තටම මටත් වඩා හොඳට දන්නවා. ඒත්, ඒ හානිය දැන දැනත් ඔබලා ඒකම නැවත නැවතත් කරන නිසා අපි ආපහු පොඩි මතක් කර ගැනීමක් කර ගනිමු.

සක්‍රිය දුම්පානයෙන්, (එනම් ඔබ විසින්ම කරන දුම් පානය)

1. දිගුකාලීනව පවතින කැස්ස හා ශ්වසන ආබාධ.

2. බ්‍රොන්කයිටිස් වැනි නිදන්ගත ශ්වසන රෝග

3. කොලෙස්ටරෝල් අසමතුලිතතාවය (නිකොටින් හේතුවෙන්) නිසා හට ගන්නා හෘදයාබාධ.

4. දීර්ඝ කාලීන ලිංගික බෙලහීනතාවය. (සහ පසුකාලීනව ඇති වන වඳ භාවය)

5. (දුම ආශ්වාස කිරීමෙන්) ශ්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා,

6. මුඛ පිළිකා(දුම්කොළ හා වෙනත් රසායනිකයන් මුඛයේ ස්පර්ශ වීමෙන්),

7. පුරස්ථ ග්‍රන්ථි සහ ලිංගේන්ද්‍රිය ආශ්‍රිත පිළිකා,

8. හෘත් අකරණිය වැනි දරුණු රෝගී තත්ත්වයන්ද,

9. තොල්, දත් සහ මුඛය අවලස්සන වීම, නිතරම සිරුරින් දුගඳ වහනය වීම සහ

10. අන්‍යයන් විසින් පිළිකුල් කිරීම, දුම්බොන්නෙක්, කරදරකාරයෙක් ලෙස කොන් කිරීම වැනි සමාජ‍මය ගැටළු ද ඇති වෙනවා.

ඒත්....

“අපේ තාත්තලා, සීයලා, අත්තලා, මුත්තලාත් හැමදාම සිගරට්, බීඩි, සුරුට්ටු, රා, අරක්කු බිව්වා... කෝ ඉතින් ඔය කියන එකක්වත් හැදුනා...? ඔය යසට ගස් ගල් වගේ අවුරුදු 80 ක් 90ක් ජීවත් වෙලා ඉඳල යස අගේට මැරිල ගියේ.... මොන බොරු කතා ද...... ඔය මොනවත් බොන්නෙ නැතුව බෝධිසත්වයො වගේ ඉන්න අයට තමයි රටේ නැති ලෙඩ ඔක්කොම තියෙන්නෙ...”

ඇත්ත...

ඔබත් ඉන්නෙ ඒ මතයෙම නම්... ආපහු කියන්න තියෙන්නෙ මට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ කියලයි. එක එක ශරීර වලට ඒ ඒ රසායන ද්‍රව්‍ය වලින් ඇති කෙරෙන බලපෑම විවිධ බව ඇත්ත. ඒත් මේ ටිකත් කියන්න ඕන. “පවට පින දෙන්නත් බැහැනෙ”

මොකක්ද මම කියපු පව? මෙන්න මේ ටිකත් කියවන්න.

අක්‍රිය දුම් පානයෙන් (එනම් ඔබ දල්වා ගත් දුම් වැටියේ දුම, පිටස්තර පුද්ගලයන්ට නිරායාසයෙන් ආඝ්‍රාණය වීම)

1. දිගුකාලීනව පවතින කැස්ස හා ශ්වසන ආබාධ.

2. කල්පවත්නා දරුණු හිසරදය සහ ඔක්කාරය

3. බ්‍රොන්කයිටිස් වැනි නිදන්ගත ශ්වසන රෝග

4. කොලෙස්ටරෝල් අසමතුලිතතාවය (නිකොටින් හේතුවෙන්) නිසා හට ගන්නා හෘදයාබාධ.

5. දීර්ඝ කාලීන ලිංගික බෙලහීනතාවය.

6. (දුම ආශ්වාස කිරීමෙන්) ශ්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා,

7. ස්ථිර වඳ භාවය (කාන්තාවන්ගේ අවදානම වැඩි ය)

8. ගර්භණී මව්වරුන්ගේ කුස තුළ වැඩෙන කළලයේ සංකූලතා. (ආබාධිත දරුවන් බිහි වීම, නියමාකාරයෙන් නොවැඩුනු දරුවන් බිහි වීම, කළල ගබ්සා වීම)

9. අළුත උපන් දරුවන්ගේ ශ්වසන ආබාධ ඇතුළු විවිධ සංකූලතා.

10. ගර්භණී මව්වරුන් ‍රෝගී තත්ත්වය‍ට පත් වීම

11. සිගරැට් දුම හේතුවෙන් ඉතා අපහසුතාවයට සහ අප්‍රසන්නතාවයට පත් වීම

සහ

ඔබේ දුම්වැ‍ටියෙන් නිකුත් වන විෂ දුම් වලින් අළුතින්ම පිළිසිඳගත් කළලයක් (එනම් යුක්තාණුවක්) විනාශ වී යන බවත්, එය ප්‍රාණ ඝාත අකුසල් කර්මයක් බවත් ඔබ දන්නවාද?

මේ අයුරින් ඔබ, ඔබේ දුම්වැ‍ටිය තුළින් සමාජයට වින කිරීම, ඔබ සිදු කරගන්නා පාපයක් නොවේද? ඔබගේ හිතවතා, නෑයා, මිතුරා, එනම් තනිකමට, දුකට, පීඩනය බෙදා හදා ගැනීමට සිටින සදාදරණීය දුම්වැටිය නැවතත් දෙතොල’තරට සිර කර ගැනීමට පෙර නැවතත් සිතා බලන්න.

සමහරවිට ඔබගේ පෙම්වතිය, බිරිය, මව ඔබගේ දුම් පානයට උදළු දමනවා වෙන්නට පුළුවන්. ඇත්තෙන්ම එයාලා සාධාරණයි. ඒ වෙලාවට එයාලා දාන කෙස් පැලෙන තර්ක එක්ක ඔබට හැ‍රෙන්නටවත් බැහැ. එයටත් ඔබ ළග Escape Key එකක් තියෙනවා. ඒ තමා දුම් පානයෙන් පසු දත් මැදලා, චුවින්ගම් එකක්, ටොපියක් එහෙම කාලා එයාල ලගට යන එක. එතකොට සිගර‍ට් බිව්වා කියලා අහු වෙන්නෙ නෑ නේ....

ඒත් කවුද මේ ඔබ රවට්ටන්න හදන්නේ.... ඔබගේම ආදරණීය මාතාව.. දයාබර බිරිඳ.. පෙම්වතිය... ඒ කියන්නෙ ඔබගේ ජීවිතය, ආත්මය..ආදරය...මේ හැම දේම... එවිට බලන්න.... අවසානයේ රැවටී තිබෙන්නේ ඔබමයි.... ලැජ්ජයි නේද?

විවාහක ඔබ, ඒ ආදරයේ උත්තරීතර ඵල‍ය එනම් දරු සම්පතක් අපේක්ෂා කරනවා.. කාලයක් බලා ඉන්නවා... බලා ඉන්නවා... තවත් ඉන්නවා... ඒත් ඒ වාසනාව නැහැ... සමහර විට ඔබ බිරිඳට ඇගිල්ල දිගු කරනවා වන්න‍ට පිළිවන්, ඇය නිසරු ගැහැණියකැයි කියා.. ඒත්... නැවතත් ඔබේ අත දෙස බලන්නැයි කාරුණිකව ඉල්ලනවා. ඇගිළි තුනක්ම ඔබ වෙත යොමු වෙලා නේද? ඔබට දරු ඵල නැති වුණේ ඔබේ බිරිඳ‍ට, නූපන් දරුවාට වඩා ඔබ පෙම් කළ ඒ සදාදරණීය දුම් වැටිය නිසා විය හැකියි නේද? සමහරවිට ඔබගේ සරු බවට හානියක් වී නොතිබෙන්න‍ට පුළුවන්... ඒත්... ඔබගේ බිරින්දෑගේ කුස තුළ දරුවකු පිළිසිඳ ගැනීමේ හැකියාව නැති කළේ ඒ දුම්වැටිය නම්... ඇයට මව් පදවිය නොලැබීමේ පාපයේ වරදකරු වෙත ඒ ඇගිළි එල්ල වීම සර්ව සාධාරණයි නේද?

අනෙක සිගරැට් දුම ඉක්මනින්ම රෙදි, ඇඳුම් පැළඳුම්, ලීබඩු ආදියට කා වදින දෙයක්. ඒ දුගඳ ලේසියෙන් ඉවත් වන්නෙත් නැහැ. ඉවත් කරන්න පහසුත් නැහැ. ඔබ දුම් බිව්වත්, වෙන අයකු දුම් බොන තැනක ඔබ රැඳී සිටියත්, ඔබගේ ඇඳුම් වලට මේ විෂ සහිත දුම කා වදිනවා. ඔබ නිවස‍ට ආ වි‍ට දරුවන් ඇගේ එල්ලෙනවා, බිරිඳ කිළුටු ඇඳුම් සෝදන්න‍ට ගන්නවා... මේ හැම දෙනාටම අර නිකොටින්, තාර, කාබන්මොනොක්සයිඩ්, විතරක් නෙමෙයි, ආසනික් වැනි මරණීය විෂ ගෙන ද්‍රව්‍යයත් ශරීර ගත වෙනවා නේද???

ඔබ පාවිච්චි කර ඉවත දමන සිගරැට්ටුවේ ෆිල්ටරය, වසර දහස් ගණනක් නොදිරා පවතින බව සහ එම සම්පූර්ණ කාලය තුළ අධික විෂ සහිත ආසනික් ඇතුළු රසායන ද්‍රව්‍ය පස‍ට, ජලයට සහ වාතයට මුක්ත කරන බව‍ට ඔබ දැනුවත්ව සිටියාද??? එමගින් ජෛව ලෝකයේ පරම්පරා ගණනක් විනාශ මුඛය‍ට ඇදගෙන යන බව උගත්, බුද්ධිමත්, පරිණත ඔබ සැමට අමුතුවෙන් මතුකරල කියන්න ඹ්නේ නෑ නේද?

මම ආණ්ඩුවේ “මතට තිත” සංකල්පය වත්, ලෝක ප්‍රසිද්ධ සහ දැනට ලංකාවේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයක් වත් නියෝජනය කරන්න හදනවා නෙවෙයි. ‘මතට තිත’ ට වත්, ඔය සංවිධාන එකකටවත් තවම බැරි වුණානෙ මත්ද්‍රව්‍ය, දුම්වැටි උවදුර දිවයිනෙන් තුරන් කරන්න. බලන්න දුම්වැටි අසුරණයක් අරගෙන. ඒකෙ එක පැත්තක බොහොම පුංචි අකුරෙන්.. නිකම් ‘හොරෙන්’ වගේ සඳහන් කරල තියෙනවා “රජයේ අවවාදය - දුම්බීම හෘදයාබාධ ඇති කරයි” කියලා. ඉස්සර ඒකෙ තිබුණෙ “රජයේ අවවාදය - දුම්බීම පිළිකා ඇති කරයි” කියල. ඇයි 'පිළිකා' වෙනුවට 'හෘදයාබාධ' කියන වචනය දාල තියෙන්නේ? පිළිකා වලට බෙහෙත් නැති අතර හෘදයාබාධ වලට බෙහෙත් තියෙන නිසා දුම් බීල හෘදයාබාධ ඇති වුණොත් ඒක හොඳ කරන්න පුළුවන් නිසා ද? එයින් කියවෙන්නෙ වැඩිමනත් හානියකුත් නැති නිසා‍ සහ දුම්වැටියෙන් රජයට විශාල බදු අනුපාතයක් (5%) ලැබෙන නිසා බිව්වට කමක් නෑ වගේ එකක්ද? දුම්බීම හානිදායක නම් ඇයි රජය ඒවා තවමත් නිෂ්පාදනයට ඉඩ දෙන්නේ? ‍පටු මුල්‍යමය හා දේශපාලනමය වාසි තකා ඇයි රජය බලෙන් මේ රටේ හෘදයාබාධ රෝගීන් බිහි කරන්නට රුකුල් දෙන්නේ? ඒ කියන්නේ “මතට තිත” වැඩකට නැති ඇල් මැරුණු සංකල්පයක් කියන එකද? ‘තිත’ නම් එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම “තිත” ම විය යුතුයි නේද, කොමාවක් වත්, තිත් කොමාවක් වත් නොවෙයි නේද?

අනිත් ව්‍යසනය තමා මේ මත්ද්‍රව්‍ය“ නිවාරණ සංවිධාන. ඔවුන් ගෙන යන්නෙ ඇත්තෙන්ම මත්ද්‍ර දුම්වැටි වලින් මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරයක්. එයාල තනිකරම යටින් කරන්නෙ මත්ද්‍රව්‍ය වල‍ට ප්‍රචාරණ වැඩ පිළිවෙලක්. ඇයි මත්ද්‍රව්‍ය මේ රටෙන් නැති කළොත් ඔවුන්ගේ පැවැත්මක් නෑ නෙ. මට මේ කාරණය ඇස් පනා පිටම එක දවසක් ඔප්පු වුණේ ඥාතියෙකුගේ අවමංගල්‍යකට ගිය විට අපේ මාමා කෙනෙකු සහ ඔහුගේ මිතුරකුගේ සංවාදයක් අහඹු ලෙස කන වැකුණු විටයි. ඉස්සර යම් තරමකට මත් පැන් පානය කළ මගේ මාමා මත්පැන් ගැනීම සම්පුර්ණයෙන්ම නවත්වා තිබුණේ මේ කාලයේ. ඔහුගේ මිතුරා දිවයිනේ ප්‍රකට මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයක ප්‍රධානියෙක්. මාමා කියා සිටියා “මම නම් දැන් Drinks ගන්න එක සම්පුර්ණයෙන්ම නවත්තලයි තියෙන්නෙ. ඔන්න උඔලගේ Project එකක් successful” කියා.. එවිට මිතුරා කීවේ “ඕං ඉතිං උඹත් අපෙ බඩවල් වලටම ගහන්න ගත්තා” යනුවෙන්. ඒ ඇයි දැයි මාගේ මාමා විචාළ විට ඔහු නැවතත් කීවේ “උඹලා Drinks නැවැත්තුවොත් ඉතින් අපේ ............ එකට වැඩ නැතිව යනවානෙ එතකොට උඹලාද අපෙ දරුවන්ට කන්න දෙන්නෙ” යන්නයි. මහ හඩින් සිනාසී එසේ පැවසූ ඔහුගේ මුවින් ද මත්පැන් දුගඳ දැඩිව වහනය වූයෙන් එවකට පාසැල් වියේ පසු වූ මා නැහැයද හකුළුවා ගෙන එතැනින් ඉවත් වූ සැටි අදටත් මට මතකයි.

ඉතින් මේ තමා ම‍ට හිතෙන හැටි. මසැසින් පමණක් නොව මනැසින්ද විමසා බැලීමට වියත් ඹබ සැමට භාර කරනවා. ඔබගේම හදවතට තට්ටු කර අහන්න. ඔබගේ ආත්මය ඔබ විසින්ම විනාශ මුඛයේ හෙළා ගන්නේ නම් අපෙත් විරුද්ධත්වයක් නෑ. මොකද තමා‍ට ආදරය නොකරන අයට කිසි කෙනෙක් ආදරය කරන්න බැඳිලා නැති නිසා. ඔබලා ඔබලා‍ට මොනවා කර ගත්තත් අපි‍ට කමක් නෑ. ඒත් අපි‍ට, දරුවන්ට , නූපන් නොදරුවන්ට මේ පරිසරය නරකාදියක් කරන්න එපා. විස පොවන්න එපා. නූපන් දරුවො ඉපදින්න කලින් මරන්න එපා. හොඳින් ඉන්න මිනිස්සුන්ට වදයක් වෙන්න එපා. ඔබ ඔය වැය කරන රුපියල් 20 න් යෝගට් එකක්, නැත්තම් පළතුරක් අරගෙන කන්නකො. නරකක් වෙයිද බලන්න. දරුවන්ට පෑනක් පැන්සලක් ගෙනිහින් දෙන්නකො. පිනක් වත් සිද්ධ වෙයි.

මැරෙන ටිකට පොළවට බරක් ඉතුරු නොකර මැරෙන්න.. හරි මනුස්සයෙක් විදිහට... අපි මැරෙන්නෙ අද වෙන්නත් පුළුවන්... තව අවුරුදු 40න් 50න් වෙන්නත් පුළුවන්...

ඒ නිසා ඉන්න ටික‍ට ‍හරියට ජීවත් වෙන්න...