පුංචි එවුන්ගේ ලෝකය හරි පුදුමාකාරයි. ඇත්තටම ඒක හරි සුන්දරයි. හරියට සුළගේ ඔහේ පා වෙවී යන සැහැල්ලු සමනලයෙක් වගේ. මටත් ආපහු ඒ ලස්සන සමනල් වියට යන්න පුළුවන් නම්...
මට එහෙම හිතුණෙ අද උදෑසන රාජකාරියට යන්න තාර පාර දිගේ ඇවිදගෙන එන කොට. මගේ ආදරණීය සැමියාගෙ ප්‍රාථමික විදුහල ඒ කියන්නෙ අම්පාර කාවන්තිස්ස කණිෂ්ඨය පහු කරගෙන තමයි මම වැඩට යන්නෙ. නිවසේ ඉඳල කාර්යාලයට වැඩි දුරක් නැති නිසාත්, මේ පුංචි සමනල් පැටව් ටික හැමදාම දකින නිසාත් මේ පාර දිගේ දිනපතා මුණ ගැසෙන සුපුරුදු මුහුණු වලට හිනාවකින් සංග්‍රහ කරන ගමන් ඒ තාර පාරෙ හිමීට ඇවිදගෙන යන එක මට හරිම මිහිරි අත්දැකීමක්.
පුංචි එවුන් ටිකක් අත්වැල් බැඳගෙන “කිරි කිරි බෝලෙ” සෙල්ලම කරනවා. උන්ගෙ කිරි හිනාවෙන් මුළු පාසලටම කිරි උතුරනවා වගෙයි මට දැණුනෙ. එතන ගැහැණු පිරිමි ප්‍රශ්නයක් නෑ... කළු සුදු භේද නෑ... දුප්පත් පෝසත් වෙනසක් නෑ... හිත් වල මොනවත් නෑ... ඊර්ෂ්‍යා නෑ... තරහවල් නෑ... පළිගැනීම් නෑ...තියෙන එකම දේ සතුට, සැනසීම, ආදරය, කිරි දත් වැටුණ පුංචි කටවල් වලින් නැගෙන කිචිබිචිය සහ නිදහස විතරමයි...
ටික ටික ලොකු වෙන්න ලොකු වෙන්න...එක එක විදියෙ වන මෘගයන් වෙන්නෙ මේ සමනල් පැටව්මද කියන පැණයත් ඒ එක්කම හිතට ආවා... ඇයි අනේ එහෙම වෙන්නෙ... මේ පැටව් වත් දන්නෙ නැහැනෙ තමුන්‍ට එහෙම වෙන බව...සමහරු උසස් නිල තානාන්තර දරන, ඇත්තටම සමාජයට වැඩක් කරන හොඳ පුරවැසියන් වෙන අතරතුර තවත් කට්ටියක් මුළු ලෝකෙටම වින කරන අමන නරුමයින් පිරිසක් බවට පත් වෙනවනෙ... ඒ ඇයි... තමුන් හැදෙන වැඩෙන වටපිටාව, දෙමව්පියන්ගෙන් ලැබෙන මග පෙන්වීම සහ ඔවුන් ගේ ගතිගුණ, සමාජමය බලපෑම වගේම සංස්කෘතික, ආගමික වාතාවරණයත් බලපානවා පුංචි ඇත්තන්ගේ මානසික සහ ආධ්‍යාත්මික සංවර්ධනයට.
අපි හිතන්නෙ පොඩි එවුන්ට කිසි දෙයක් තේරෙන්නෙ නෑ කියල. අපි හැමෝම වරද්දා ගන්නේ ඔතනින්. ඒත් අපි පරිණත අය විදියට ටිකක් හිතන්නට ඕනෙ අපේ වැඩුණු මොළයට වඩා, සීඝ්‍රයෙන් වැඩෙන පුංචි මොළය බලවත් කියල. ඇසට දකින දේ, කනට ඇහෙන දේ, කතා කරන දේ මතක තියාගෙන ඉඳල පස්සෙ ඒ ගැන තනියම විග්‍රහ කරල බොහෝ දේ තෝරා බේරා ගන්න ඔවුන්‍ට පුළුවන්. ඒ නිසයි ළමා මනස ඉතාමත්ම ප්‍රවේශමෙන් හැසිරවිය යුතු දෙයක් වෙන්නෙ.
පුංවි කාලෙ ඔවුන්ගෙ ලෝකෙ ඉන්න මහා පතාක යෝධයො තමයි ගුරුන් හා දෙගුරුන්. ඊට පස්සෙ තැන ලැබෙන්නෙ බෝනික්කට, ටෙඩී බෙයාට නැත්නම් Spider Man සහ Super man ට. සහෝදරයො, යාළුවො ඊටත් පස්සෙ. ඉතින් ගුරුන් හා දෙගුරුන් දෙන දේ, කරන දේ තමයි ඔවුන් නිවැරදියි කියා පිළිගන්නෙ. ඒ නිසයි ඔවුන්‍ට ඉතාමත්ම පරිස්සමෙන්, හරිම දේ හරි විදිහට දෙන්න ඕන කරන්නෙ. දරුවන් වැල නොකැඩී විටෙක අහන ප්‍රශ්න අපිට ඇතැම් විටෙක වදයක්. නමුත් ඔවුන් ඉතාම ගවේශණශීලී විද්‍යාඥයන්. කිසිම දරුවෙක් මෝඩ නැහැ. හැම දෙයක් ගැනම ඉන්නෙ බොහොම කල්පනාවෙන්. ඒ වෙලාවකට ඔබ දෙන පිළිතුර තුළින් ඔබට පුළුවන් අනාගතයේ දක්ෂ විද්‍යාඥයෙක් බිහි කරන්නත්, ඒ වගේම අමු මෝඩයෙක් බිහි කරන්නත්. පොඩ්ඩක් දරුව දිහා බලන් ඉන්නකො එයාගෙ ප්‍රශ්නයකට ඔබ උත්තරයක් දුන්නට පස්සෙ කටේ ඇගිල්ලකුත් ගහගෙන කොච්චර වෙලා කල්පනා කරනවද, එහෙම නැත්තම් අතුරු ප්‍රශ්න කොච්චර නගනවද කියල. ඒ තරමටම ඔවුන් විචක්ෂණශීලීයි.
ඒ නිසා අපි, අම්මල තාත්තල දරුවන්ට මව් කිරි එක්කම පොවන්න ඕනෙ සාරධර්ම, ගුණධර්ම, ආදරය, සංවේදීත්වය, අනුකම්පාව දයාව කරුණාව වගේ දේවලුත්. හොඳ කෑම බීම, ඇඳුම්, පොත්පත් දෙනව වගේ දෙන්න ඕන ධෛර්යය, ආත්ම විශ්වාසය, සත්‍යවාදීත්වය, පෞරුෂත්වය, ස්වීයත්වය හා දරුවාගේ දෑස තුලින්ම ලෝකය දැකීමේ හා වටහා ගැනීමේ හැකියාව සහ ඒකට ඇති අයිතිය. ගුරු වරුන්ටත් විශාල වගකීමක් තියෙනවා.. දරුවාට සිප්කිරි පොවන අතරතුරේ හොඳ නරක වගේම වැරැද්ද නිවැරැද්ද අවබෝධ කරල දෙන්න ඕන බොහොම සීරුවට. එවිට කවදාවත්ම වැදූ මව සහ හැදූ පියා වීමේ වරද, දරුවා ඉගෙනගත් පාසලේ වරද, සමාජය විසින් ඔබේ කර පිට නොපටවනු ඇති.
No comments:
Post a Comment