Friday, August 26, 2011

දෙමව්පියන්ගේ සිහින සහ දරුවන්ගේ අනාගතය

ඔබගේ ආදරණීය දරුවාගේ සුන්දර ජීවිතය‍ට නිදහසේ පිපෙන්න දෙන්න. ඔහුට, ඔහුගේ ළමා කාලය හිමි කර දෙන්න. ඔහු‍, දරුවකු බව නිතර අවබෝධ කරවන්න. ඔහු‍ට හැකි තාක් සමීප වන්න. එවිට ඔහු තුළ සැගවී පවත්නා නිසග කුසලතාවයන් ඔබට දැනේවි. ඒවාට පිපෙන්නට ඉඩ දෙන්න. ඒ සඳහා දරුවාව නිබඳවම ධෛර්යමත් කරවන්න. ඔහු ඉතා ආශාවෙන් යමක නියැලෙන්නේ නම්, ඒ ගැන වැඩි දුර අධ්‍යයනයේ යෙදෙන්නේ නම්, ඔහුට එයට ඉඩ‍දෙන්න. දරුවකු වූ තරමින් ඔහු දෙමාපියන්ගේ දුරස්ථ පාලකය මගින් පාලනය විය යුතු නැත. බොහෝ දෙමව්පියන් වරදවා වටහා ගන්නා දෙයකි මෙය. දරුවන්ට හොඳ සහ නරක පමණක් අවබෝධ කර දෙන්න. එසේ නොමැතිව දරුවා ඔබ විසින් පාලනය කරනු ලබන රොබෝවකු බවට පත් නොකරන්න. ඔබගේ සිහින, දරුවා තුළින් දකින්න‍ට යාමෙන් වළකින්න. ඔබගේ සමාජ තත්ත්වය, දරුවා මගින් ලබා ගැන්ම‍ට යාමෙන් වළකින්න. ඔබගේ සිහින, දරුවා තුළින් දකින්න‍ට යාමෙන් අවසානයේ සිදු වන්නේ ඔබගේ සිහිනද කුඩු පට්ටම් වී, අවසානයේ ඔබගේ ආදරණීය දරුවාගේ ජීවිතයද අර්ථශුන්‍ය, හිස් එකක් බවට පත් වීමය.

දරුවාගේ සීමාවන් පිළිබඳව ඔහුට මනා අවබෝධයක් ලබා දෙන්න. ඔහු වඩාත් ප්‍රිය කරන දෙය කෙරෙහි ඔහුව යොමු කරවන්න. එවිටය, ඔබගේ දරුවා දක්ෂ, පරිපුර්ණ, ප්‍රීතිමත් මිනිසකු බවට පත් වන්නේ. ඔහු‍ටම ආවේණික පෞරුෂත්වය ඔහු තුළින් ඉස්මතු කර ගැනීමට නම් ඔබ දරුවා‍ට මදක් සවන් දී, ඔහුගේ අනාගත බලාපොරොත්තු ඉටු කරගැනීමට අවශ්‍ය පරිසරය සකසා දිය යුතු ය.

එසේ නොමැතිව, ඔබගේ පැලැන්තියේ ඕනෑ එපා කම් මත, නෑදෑ පරපුරේ අවශ්‍යතාවයන් මත සහ ඔබගේ අභිමානය රැකගැනීමේ අභිලාෂයන් මත දරුවා ප්‍රිය නොකරන ක්ෂේත්‍රයක් වෙත යොමු කිරීමෙන් ඔහුට ඉටු කරන්නට සිදු වන්නේ ඔහුගේ ආවේණික ඉලක්කයන් නොව අන්‍යයන්ගේ අවශ්‍යතාවයන් ය. එවිට දරුවා තුළ පවත්නා සැබෑ කුසලතාවයන් ‍පිළිබිඹු නොවන්නා සේම ඔහුගේ ජීවිතයද අතෘප්තිකර එකක් බවට පත්වේ.

ඔබගේ දරුවා තුළ සිටිනා සැබෑ දක්ෂයාට කෙළි පිටියට පැමිණීම‍ට මග හෙළි කර දෙන්න. එම දක්ෂයා පිති හරඹය නියමාකාරයෙන් ආරම්භ කළහොත්, සැබෑම ජවසම්පන්න, මනා පෞරුෂත්වයකින් හෙබි සහ අද්විතීය නිපුණතා ඇත්තකු බවට ඔබ දරුවා පත්වන දින, එනම් ඔහු ලොව දිනන දිනෙක, මෙලොව සිටින සාඩම්බරම මාතාව හෝ පියාණන් ලෙසට ඔබ නිතැතින්ම සතුටු වනු ඇත.

No comments:

Post a Comment